50.The letter Qaaf

  1. කාෆ්. (නබියේ!) ගෞරවයෙන් පිරි මෙම කුර්ආනය මත සත්තකින්ම
  2. (ඔබ අප විසින් යවන ලද දූතයෙකි). එහෙත් ඔවුන්ගෙන්ම ඔවුන්ට බියගන්වා අනතුරු අඟවන කෙනෙකු පැමිණීම ගැන ඔවුන් පුදුම වන්නාහ. තවද මෙම ප්‍රතික්ෂේප කරන්නන් මෙය ඉතාමත් පුදුමාකාර කාරණාවක් යයිද පවසන්නාහ
  3. (තවද “මෙම දූතයා පවසන අන්දමට) අපි මැරී (දිරා ගොස්) පස් බවට පත් වීමෙන් පසුව, (පණ දී නැගිට්ටවනු ලබන්නෙමුද)? මෙසේ නැවත පැමිණීම ඉතාමත් (ඈත) එපිටය. (නැවත නැගිටවනු ලබන්නේම නැත” යයිද පවසන්නාහ)
  4. (මරණයට පත් වූ පසු) ඔවුන්ගේ සිරුර පස් (කා දමා) විනාශ වී යනු නියත වශයෙන්ම අපි දනිමු. (එහෙත් අපි කැමති වේලාවන්හි මරණයට පත් ඔවුන්ට, පණ දී නැගිටුවා හරින්නෙමු). තවද (ඔවුන් කළ නපුර සටහන් කර) ආරක්ෂා කර තබා ඇති පුස්තකය අප වෙත ඇත්තේය. (එහි සෑම දැයක්ම ලියා තබා ඇත්තේය)
  5. මෙසේ තිබියදී ඔවුන් වෙත පැමිණි සත්‍යය වූ (ධර්මය) ඔවුන් බොරු කර, ඉමහත් ආරවුලකට ලක් කළහ
  6. තමන්ට ඉහළින් ඇති අහස ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? අපි එය කෙසේ නම් (ස්ථීරවත්ව) නිර්මාණය කර, එය (තාරකා මගින්) අලංකාරවත් කර තබා ඇත්තෙමු. එහි කිසිම පිපිරීමක් හෝ නැත. (බිඳීමක්, කැඩීමක්ද නැත)
  7. තවද අපිම භූමිය පුළුල් කර, එහි ස්ථීර වූ කඳුද නිර්මාණය කර අලංකාරවත් පැළෑටි, ගස් කොළන් සියල්ල (පිරිමි, ගැහැනු මගින් වූ) ජෝඩු ජෝඩු වශයෙන් එහි වැඩෙන්නට සැලැස්සුවෙමු
  8. (මෙය අප) දෙසට හැරී සිටින සියලූ වහලූන්ටම හොඳ ඔවදනක් වශයෙන්ද, එක් ඥානාලෝකයක් වශයෙන්ද (ඇත්තේය)
  9. වලාකුළෙන් ඉතාමත් භාග්‍යයෙන් පිරි වර්ෂාව, අපි වැසීමට සලස්වා එමගින් බොහොමයක් උයන් වතුද, (ගොවියන්) කපා (පාගා) ගන්නා ධාන්‍ය බීජයන්ද පැළවෙන්නට සලස්වන්නෙමු
  10. එක පිට එක (පලතුරු වලින්) පිරි වලූවලින් යුත් උසට වැඩෙන ඉඳි ගස්ද (පැළවෙන්නට සලස්වා)
  11. (එය අපගේ) වහලූන්ට ආහාර බවට පත් කර, එමගින් මැරී ගිය භූමිය අපි පණ ගන්වන්නෙමු. මෙසේම (මරණයට පත් වූවන්ව සොහොන්වලින්) ඉකුත් කිරීමද වන්නේය
  12. (මේ සියල්ල) මොවුන්ට පෙර සිටි නූහුගේ ජනයාද, රස්සු (නමැති අගල්)වාසීන්ද, සමූද් (නමැති ජනයාද) බොරු කළහ
  13. ආද් (නමැති ජනයා)ද, ෆිර්අව්න් ද, ලුත්ගේ සහෝදරයින්ද (බොරු කළහ)
  14. තවද (මද්යන්) වතු වාසීන්ද, (යෙමන් දේශයට අයත් රාජ වංශයේ අය වන) තුබ්බඋ නමැති ජනයාද, ආදී මොවුන් සියල්ලන්ම (අපගේ) දූතයින්ව බොරුකාරයන් කළහ. එබැවින් (ඔවුන්ව විනාශ කර දමන්නෙමු යයි කළින් අපි දැනුම් දී තිබුනු අපගේ දඬුවම ගැන) බියගන්වා අනතුරු ඇඟවීම සත්‍යය වී ගියේය
  15. (උත්පාදනයන් සියල්ල) පළමු වරට උත්පාදනය කිරීමේදී අපි ආයාසයට පත් වූවෙමුද, (මොවුන්ව නැවත වරක් උත්පාදනය කිරීම අමාරුකමක් යයි පැවසීමට)? නැත. අළුතින් (පළමු වරට මොවුන්ව) උත්පාදනය කළේ කවුරුන්ද යන්නෙහිද මොවුන් සැකයෙන් යුතුව සිටින්නාහ
  16. නියත වශයෙන්ම අපිම මිනිසාව (පළමු වරටද) උත්පාදනය කළෙමු. ඔහුගේ මනසෙහි ඇති වන සිතුවිල්ලද, අපි හොඳින් දනිමු. පිටි ඛෙල්ලේ ඇති පණ නහරයට වඩා අපි ඔහුට ඉතාමත් සමීපයෙන්ම සිටින්නෙමු
  17. දකුණු පැත්තේ කෙනෙකුද, වම් පැත්තේ කෙනෙකුද වශයෙන් දෙදෙනෙකු සිටිමින් (ඔහුගේ වැඩ කටයුතු) සටහන් කරමින් සිටින්නාහ
  18. (මිනිසා) කුමක් පැවසුවා වුවද, (එය ලිවීමට) බලාපොරො-ත්තුවෙන් සිටින කෙනෙකු, ඔහු වෙත නැත්තේ නොවේ. (ඔහුගේ මුවින් පිටවෙන සෑම වචනයක්ම එවෙලෙ එවෙලේම සටහන් කරනු ලබන්නේය)
  19. ඇත්තෙන්ම මරණ මංචකයේ වේදනාව පැමිණෙන මොහොතේදී (ඔහුට) “ඔබ බේරී යාමට අදහස් කළේ මෙයයි” (යයි කියනු ලැබේ)
  20. කුමන කලකදී හොරණෑව පිඹිනු ලබන්නේද, (එවිට ඔහුට “ඔබට) බියගන්වා අනතුරු අඟවමින් තිබුණු (විනිශ්චය) දිනය මෙයයි” (යයි කියනු ලැබේ)
  21. (එදිනදී) සාක්ෂි ඇතිවද, (තමන්ව) තල්ලූ කරගෙන පැමිණෙන්නා සමගද, සෑම ආත්මයක්ම එනු ඇත
  22. (ඔහුට) “නියත වශයෙන්ම ඔබ මේ ගැන නොසැලකිලිමත්ව සිටියෙහිය. ඔබගේ (බැල්ම වසාගෙන සිටි) තිරය ඔබගෙන් අපි පහ කළෙමු. අද දින ඔබගේ බැල්ම ඉතාමත් තියුණුව ඇත්තේය. (එබැවින් ඔබ ප්‍රතික්ෂේප කරමින් සිටි මෙය, ඔබගේ ඇස් ඇර බලනු” යයි කියනු ලැබේ)
  23. (සාක්ෂි කීමට) ඔහු සමග පැමිණි අය, “මෙන්න! (ඔහුගේ සටහන් පොත. ඔහුගේ වැඩ කටයුතු වල සටහන්) මා ළඟ පිළියෙල කර ඇත්තේය” යයි පවසනු ඇත
  24. (එවෙලේම ආරක්ෂකයින් දෙදෙනාට) “ඔබ දෙදෙනාම ප්‍රතික්ෂේප කරමින් සිටි (ෂෙයිතාන් ආදී) සෑම අපරාධකාරයෙකුවම නිරයෙහි තල්ලූ කර දමනු” (යයි කියනු ලැබේ)
  25. “(ඔහු) දැහැමි කාරණාවන් වළක්වාගෙන (මෙදින) සැක කරගෙන (අපරාධ කිරීමෙහි) සීමාව ඉක්වමින්ද සිටියේය
  26. “ඔහු අල්ලාහ් සමග වෙනත් දෙවි කෙනෙකුව ඇති කළේය. එබැවින් ඔබ දෙදෙනාම මොහුව දරුණු දඬුවමෙහි ඇද දමනු” (යයිද කියනු ලැබේ)
  27. (ඒ අවස්ථාවේදී) ඔහුගේ (කිසිදා වෙන් නොවන) යහළුවා (වශයෙන් සිටි ෂෙයිතාන් දෙවියන්ට) “අපගේ දෙවියනේ! මා මොහුව (බල කර) මාර්ගය වැරද යැවුවේ නැත. නමුත් ඔහුම (තමන් විසින්ම) ඉතාමත් ඈත එපිට දුර්මාර්ගයෙහි ගියේය” යයි පවසනු ඇත
  28. (එබැවින් දෙවියන් ඔවුන්ට) “මා ඉදිරියේ ඔබ තර්ක කරමින් නොසිටිනු. දැනටමත් (මේ ගැන) ඔබට බියගන්වා අනතුරු අඟවා තිබුනෙමි
  29. (මගේ) නියෝගයන් මා ඉදිරියේ වෙනස් කරනු ලබන්නේ නැත. මා මගේ වහලූන්ට (කිසි විටෙකත්) අපරාධ කරන්නෙකු නොව” යයිද පවසනු ඇත
  30. (තවද) එදිනදී නිරයට “ඔබගේ බඩ පිරී ගියේද?” යයි අපි විමසන්නෙමු. එයට එය “තවත් අධික වශයෙන් මොකුත් ඇත්තේද?”යි විමසනු ඇත
  31. (එදිනදී) භය භක්තිකයින්ට-ඈතින් නොව- ඉතාමත් සමීපයෙන්ම ස්වර්ගය ගෙන එනු ලැබ “මෙයයි ඔබට පොරොන්දු වන ලද්දේ
  32. (සෑමවිටම දෙවියන්) දෙසටම හැරී සිටිමින් (දෙවියන්ගේ නියෝගයන්ට) අනුකූලව කටයුතු කළ සියල්ලන්ටම මෙය ලැඛෙනු ඇත” යයිද
  33. කවුරුන් රහසින්ද රහ්මාන්ට බිය වී කටයුතු කර, (රහ්මාන් දෙසටම) සම්පූර්ණයෙන්ම හැරුණු මනසින් යුතුව පැමිණෙන්නෝද
  34. (ඔවුන්ට) “ශාන්තිය හා සමාදානයෙන් යුතුවද, ඔබ මෙහි ඇතුළු වනු. මෙය සදාජීවන දිනය වන්නේය” යයිද (කියනු ලැබේ)
  35. ඔවුන් කැමති සියල්ල එහි ඔවුන්ට ලැඛෙනු ඇත. තවද අපගේ සන්නිධානයෙන්ද (ඔවුන් නොඉල්ලු දැයද තවත්) අධික වශයෙන් දෙනු ලැබේ
  36. මොවුන්ටත් වඩා ඉතාමත් ශක්තිවන්තයින් වශයෙන් සිටි කොපමණදෝ සමුහයන්ව මොවුන්ට පෙර අපි විනාශ කර ඇත්තෙමු. ඔවුන් (බේරෙන්නට ආරක්ෂක ස්ථානයක්) රට පුරා සොයා ඇවිද්දාහ. (එහෙත්) ඔවුන්ට රක්ෂණස්ථානයක් තිබුනේද? (නැත. විනාශ වී ගියහ)
  37. තවුරුන් හට (පරිශුද්ධ වූ) හෘදය තිබී, ස්ථීර වූ මනසින් යුතුව සවන් දෙන්නේද, ඔහුට නියත වශයෙන්ම මෙහි (හොඳ) පාඩමක් ඇත්තේය
  38. නියත වශයෙන්ම අපිම අහස්ද, භූමියද, එයට මධ්‍යයෙහි ඇති දැයද දින හයකින් උත්පාදනය කළෙමු. (එබැවින්) අපට කිසිම මහන්සියක් හෝ (කම්මැලිකමක් හෝ) ඇති වුවේ නැත
  39. (නබියේ!) ඔවුන් (ඔබට ෙදාස්) නැගීම ගැන (දුක් නොවනු). ඔබ (ඉවසිලිමත්ව) විඳ දරාගෙන සිටිනු. තවද සූර්ය උදාවට පෙරද, (එය) අස්ථමයට පෙරද, ඔබගේ දෙවියන්ට ප්‍රශංසා කර, සුවිශුද්ධ කරමින් සිටිනු මැනව
  40. රාත්‍රියෙහි එක් කොටසකද, (සෑම වතාවකදීම) සුජූද් කර (සලාත්) කිරීමෙන් අනතුරුවද ඔහුව සුවිශුද්ධ කරමින් සිටිනු මැනව
  41. (සොහොන් වලට) සමීපයෙහි (සිටිමින් “මරණයට පත් වූවෙනි! නැගිටිනු!” යයි) ආරාධනා කරන්නන් ආරාධනා කරන දිනයයි
  42. (මලායිකාවරුන් ඔවුන්ව එළවා දමන) අති විශාල ශබ්දය ඇත්තෙන්ම ඔවුන්ට ඇසෙන දිනයයි. එය (මරණයට පත් වූවන් සොහොන්වලින්) ඉකුත් වන දිනයයි. (නබියේ! මේ ගැන) ඔබ සවන් දෙනු (මැනව)
  43. නියත වශයෙන්ම අපිම පණ දෙන්නෙමු. මරණයටද පත් කරන්නෙමු. අප වෙතම (සියල්ලන්ම) පැමිණිය යුතුව ඇත්තේය
  44. (මරණයට පත් වූවන්ව වසාගෙන සිටින) භූමිය ඉතාමත් තීව්‍ර වශයෙන් (පුපුරා) ඔවුන්ගෙන් ඈත් වන දිනයද (අවධානයෙන් තබා ගනු). එය (විනිශ්චය සඳහා සියල්ලන්වම) ඒකරාශී කරන දිනයයි. (මෙසේ ඒකරාශී කිරීම) අපට ඉතාමත් පහසු දැයකි
  45. (නබියේ! ඔබ ගැන) ඔවුන් පවසන දැය අපි හොඳින් දනිමු. ඔබ ඔවුන්ව බල කළ හැකි කෙනෙකු නොව. (අපගේ) දඬුවමට බිය වන්නන්ට මෙම කුර්ආනය මගින් ඔබ හොඳ ඔවදන් දෙනු මැනව